ඇසළ පොහොය නිමිත්තෙන් මාතලේ ඕවිලිකන්ද රෑණකෙටුවගල ආරණ්‍යය සේනාසනය හා අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍යය සේනාසනය යන උභය සේනාසනයන්හි සේනාසනාදිපති අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන්වහන්සේ දේශනා කරන ලද ලෝකයේ සත්‍යය - ගවේෂණය සහ අතික්‍රමණය ඩෙන්මාර්ක් ජාතික ඤාණාදීප ස්වාමීන්වහන්සේගේ දිවිමග තේමා කොටගත් කාලින ධර්ම දේශනය

ඩෙන්මාර්ක් ජාතික ඤාණාදීප ස්වාමීන්වහන්සේ ගැන පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන්වහන්සේ විසින් රචිත මුනිවත ග්‍රන්ථය:

http://bit.ly/muniwatha

https://www.facebook.com/AlawweAnomadassiThero/

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන්වහන්සේගේ Youtube නාලිකාව:

https://youtube.com/channel/UCrVgjWzncsnxfeAPVJA5Cwg

විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය


කැලේ මැද සුදු හාමුදුරුවෝ හෙවත් ඩෙන්මාර්කයේ ඤාණදීප හාමුදුරුවෝ


ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ එදා මෙදා තුර බිහි වූ යතිවරයන් වහන්සේලා ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිත වශයෙන් ඉදිරිපත් කළ නොහැකි වුවත් ඒ අතරින් කැපී පෙනෙන දේශීය මෙන්ම විදේශ ජාතික මහා යතිවරයන් වහන්සේලා ඇත්තේ අතළොස්සකි.


1950 දශකයේ අගභාගය හා 60 දශකයේ මුල් අවධිය මෙරට සම්බුද්ධ ශාසනයෙහි සැබෑ අරුත් සොයාගත් වනගත මහා යතිවරුන්ගේ යුගයක් වන්නේ උන්වහන්සේලා බෞද්ධ ශාසනයෙහි ප්‍රගමනයලා කළ අතිශය උත්තරීතර සේවාවන් නිසාවෙනි. ඒ අතරින් ඇමරිකන් ජාතික කෝවිධ හිමි, ‍බ්‍රිතාන්‍යය ජාතික ඤාණවීර හිමි, ජර්මන් ජාතික ඤාණවිමල හිමි මෙන්ම මෙරට සුපේෂල ශික්ෂාකාමි සඟ පරපුරේ පරමාදර්ශය වූ මාතර ඤාණාරාම හිමි, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ හිමි, මාවතගම ගුණානන්ද හිමි සහ නා උයනේ අරියධම්ම හිමි ආදී හිමිවරුන් සුවිශේෂීය. බුදු සමයේ දී උගත්, බුද්ධිමත්, වංශවත් ප්‍රභූ තරුණයන් පවා ජීවිතයේ යථාර්තය සොයා යන්නට උත්සුක වූ බව අප සියල්ලන්ම දන්නා කරුණකි. උන්වහන්සේලා තම ශ්‍රමණ භාවිනාව උත්තේජනය කර ගත්තේ ද මෙම කරුණ නිසාවෙනි.


ඇමරිකන් ජාතික කෝවිධ හිමි, ජීවිතාන්තය දක්වා ලග්ගල මහා වනය මැදත්, බ්‍රිතාන්‍ය ජාතික ඤාණවීර හිමි බූන්දල වනෝද්‍යානය ආශ්‍රිතවත් වාසය කළ අතර අනපේක්ෂිත ලෙස උන්වහන්සේ තරුණ වියේදීම අපවත් වූහ. එමෙන්ම ජර්මන් ජාතික ඤාණවිමල හිමි මෙන්ම මාතර ඤාණාරාම හිමි සහ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ හිමිවරුන්ගේ අපවත් වීමත් සමග 90 දශකය අග භාගය වන විට ලාංකික ආරණ්‍යවාසී මහ සඟ පරපුර අතර ජ්‍යෙෂ්ඨතම භික්ෂුව වූයේ ඩෙන්මාර්ක ජාතික ඤාණදීප හිමියන්ය.


ලොව ඉහලම ජීවන තත්වයක් ඇති එනම්, තිරසර සංවර්ධනයක් ඇති කරගත් ඉතාමත් දියුණු සහ ධනවත් රටක් වන ඩෙන්මාර්කයේ ධනවත් පවුලක උපත ලද උන්වහන්සේ තරුණ වියේදීම ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට උත්සුක වූ අතර ගෞතම බුදුන්ගේ සරණ යාමේ අරමුණෙන් තායිලන්ත ථෙරවාදී මහා තෙරුන් වහන්සේගේ මඟ පෙන්වීම මත උතුම් වූ පැවිදි දිවියට පිවිසුහ. එසේම උන්වහන්සේ සතුව අසාමාන්‍ය වීර්යයක් සැසඳිය නොහැකි තරම් වූ සරල ජීවන රටාවත් සහ කිසිවෙකු අපහසුතාවයට පත් නොකොට උතුම් ගති ඇතුව වැඩ සිටි උන්වහන්සේ හට බොහෝ ශ්‍රමණයන් වහන්සේ මහත් ගරුත්වයෙන් සැළකූහ. ලොව නන්දෙසින් හුදෙකලා ආරණ්‍යවාසීව වැඩසිටීමට කොපමණ ඇරයුම් ලැබුණද 1960 දශකයේ මුල් භාගය තුළ උන්වහන්සේ අතිදුෂ්කර ලග්ගල පල්ලේගම ගම්මානය ආසන්නව ඇති මහා වනාන්තරය තුළ වැඩ සිටීමට පියවර ගත්හ.


එලෙස වනවාසීව වැඩ සිට ඤාණදීප යතිවරුන් වහන්සේ විටින් විට අසල්වාසී ගම්වල පිඬුසිඟා වැඩියද උන්වහන්සේ නිතරම පිණ්ඩපාතය සඳහා පල්ලේගම දිළිඳු ගම්මානයට වැඩම කිරීමට තරමක් උනන්දු වූ බව ගම්මුන්ගේ අදහසයි. එමෙන්ම ගම්වාසීන් ඤාණදීප හාමුදුරුවෝ “මහා වැස්සේ කුඩයක් වත් නැතුව සිවුර නොතෙමී පිඬුසිඟා වඩින කැලේ මැද සුදු හාමුදුරුවෝ” යනුවෙන් අන්වර්ථ නාමයකින් ද හඳුන්වනු ලැබිණි. උන්වහන්සේ මහ වනයේ සිට පිඬුසිඟා වැඩියේ පා ගමනින්ද වෙනත් ක්‍රමයකින්ද යන්න අදටත් අබිරහසකි. එයට හේතුව නම් පිණ්ඩපාතය කරගෙන නැවත වැඩීමේදී පෙනෙන දූර හැර උන්වහන්සේ වැඩි මඟක් සොයා ගත නොහැකි වීමද ‍ සුප්‍රසිද්ධ රහසකි. එවැනි අද්භූත කතාන්දර බොහෝමයක් ඤාණදීප හාමුදුරුවන්ගේ පැවිදි දිවිය තුළ සැඟව ඇත්තේය.


පල්ලේගම ගමෙහි පුංචි බණ්ඩානම් පුද්ගලයෙකු ඤාණදීප හාමුදුරුවන් පිළිබඳ විමසිලිමත් වූ අයෙකි. ඔහු කිහිප විටක්ම හාමුදුරුවන් වහන්සේ පිඬුසිගා නොවඩින අවස්ථාවල උන්වහන්සේ සොයා කැලයට ගිය අවස්ථා ගණනාවක් ඇති බව ඔහු පැවසීය. එමෙන්ම හාමුදුරුවන් වහන්සේ ප්‍රණීත ආහාර වේල්වලට අකමැත්තක් දක්වන්නේ, දුප්පත් මිනිසුන් කරදර වෙමින් දානය සකසන බැවින් සහ එයට උන් වහන්සේ අකමැති වූ නිසාය. උන්වහන්සේ කිසිවිටත් විශේෂ සැලකිලි ලැබීමට අකමැති වූ අතර තමන්ට අවශ්‍ය ප්‍රමණය පමණක් බදුන්වලට පිළිගැනීමට කැමති වූහ.


රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, පරිපාලන අමාත්‍යවරයාව සිටියදී ඤාණදීප හාමුදුරුවන් මුනගැසී උන්වහන්සේගේ අවශ්‍යතා විමසූ විට උන්වහන්සේ වදාළ ඇත්තේ කිසිවක් අවශ්‍ය නොවන බවත් තුන් සිවුර සහ පාත්තරය පමණක් භික්ෂුවකට ප්‍රමාණවත් බව බුදු බණෙහි සඳහන් බවය. ඉන් අනතුරුව ප්‍රේමදාස මහතා බොහෝ ධර්ම කරුණු ගැන සාකච්ඡා කර ඇති බවද කරුණු දැන ගත හැකිය.

රූස්ස වනයෙහි සිට පිඬුසිඟා වැඩියද උතුම් ඤාණදීප හාමුරුවෝ කිසිවිටෙකත් ස්ථීර කුටි, සෙනසුන්, ඉදිනොකරන ලෙසට ගිහි පැවිදි සියල්ලන්ම දැනුවත් කර සිටි අතර උන්වහන්සේ වර්ෂාවේදි වුවද ගස් ගල් යට වැඩ වාසය කළහ. නමුත් ඒ බව දැනගත් ප්‍රදේශවාසීන් තම ගම්මානය ආශ්‍රිතව මැටියෙන් කුටි, සෙනසුන් ඉදිකළ අතර ලග්ගල වනාන්තරය ආශ්‍රිතව එලෙස ඉදිවූ කුටි සෙනසුන් 40 කට ආසන්න ප්‍රමාණයක් විය. ඒ අතර ලෙල් ඔය අසල ඉදි වූ කුටි, සෙනසුන්, මදුමාන් කුටිය විශේෂ වූයේ ඒ ස්ථානවලට යාමට අතිශය දුෂ්කර වූ බැවිනි. එම කුටි තුළද කෙටි කාලයක් වැඩ වාසය කරන හාමුදුරුවෝ එම කුටි අනෙකුත් වනවාසී භික්ෂූන් වහන්සේලාට ලබා දී තමන්වහන්සේට සුපුරුදු සරල ශ්‍රමන දිවිය ගත කළහ. එසේම උන් වහන්සේ කිසිදු ගිහි දායක පවුලක් සමඟ ළෙන්ගතු නොවූ අතර , තමන්වහන්සේට අත්‍යවශ්‍ය වූ දෙයක් පවා ගිහි උපාසක ප්‍රජාවගෙන් ඉල්ලා නොසිටි බවට අදටත් තොරතුරු සඳහන් වේ.

බලංගොඩ උඩවලව ටැංජන් තැන්න තුළ වර්තමානයෙත් එවැනිම ශ්‍රමණයන් වහන්සේලා වැඩ සිටින්නේ ඩෙන්මාර්කයේ ඤාණදීප හිමියන් ගත කල පරමාදර්ශී ශාසනික පැවිදි දිවි පෙවෙත නිසාය. ටැංජන් තැන්න ප්‍රදේශයේ 100Km^2 ආසන්න වන ලැහැබ තුළ හදෙකළා භික්ෂූන් වහන්සේලා වැඩසිටින්නේ ඤාණදීප හාමුදුරුවන්ගේ උතුම් වූ පරමාදර්ශය නිසාය. බොහෝ සඟ පිරිසකට ධර්මාචාර්‍ය්ය වූ ඤාණදීප ස්වාමීන්වහන්සේ සුදුසුකම් තිබුණද කිසිම දිනෙක කිසිඳු ගෝලයෙකු පැවිදි කර නැත. වර්ෂිකව ලග්ගල වන මැද සිදුවන වනවාසී භික්ෂූනගේ ධරම සාක්ච්ඡාවේදි මුලසුන ඤාණදීප හාමුදුරුවන් හෙබයවූහ. වනවාසී ශ්‍රමණයන් වහන්සේලා විශාල පිරිසක් වැඩම කරන මෙම ධර්ම සාකච්ඡාවටද කිසිඳු ගිහි දායකත්ද ලබා නොගත් බවට දැඩි සාක්ෂි ඇත්තේය.

ඤාණදීප හිමියන් සෑම විටම තරුණ සඟ පරපුරට අප්‍රමාදී බවේ අර්ථය අවබෝධ කර දුන් අතර විදේශීය වනවාසී හිමිවරුන් බොහෝමයක් උන්වහන්සේ මඟ ගියහ. ඒ අතර නවසීලන්ත ජාතික ගුත්තසීල හිමි, එංගලන්ත ජාතික කාශ්‍යප හිමි, නෙදර්ලන්ත ජාතික අමිතසිරි හිමි ඊට නිදසුන්ය. සැබෑ බුද්ධ පුත්‍රයෙකු සතුව ඇති කරුණාව, දයාව, ශ්‍රමණයන් වහන්සේගේ ආරක්ෂක මෙවලම බවටද සඳහන් කර ඇත්තේ උන්වහන්සේය.

ඤාණදීප හිමියන් ලාංකීය සම්බුද්ධ ශාසනය තුළ ව්‍යවහාර වූ පාලි හා සිංහල භාෂාව පිළිබඳව මූලික දැනුම කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන්ගෙන් ලබාගෙන අනතුරුව ස්වයං අධ්‍යනය මඟින් ආචාර්ය , මහාචාර්ය පදවි මට්ටම්වලට පාලි භාෂාව දැනුමෙන් පෝෂණය වී ඇත්තේය. උන්වහන්සේගේ පාලි භාෂාව හැසුර වීම ඉතාමත් විශිෂ්ට වන අතර පාලි බසද ,ඉංග්‍රීසි බසද උන්වහන්සේගේ මව් බස යන්නට අසන්නන් විශ්මයට පත්කරන තරම් භාෂා හැසිරවීමෙහි දක්ෂ වූහ.

ඤාණදීප හාමුදුරුවන් සෑමවිටම ලාංකිකයන් සමඟ සිංහලෙන්ම කතා කළ අතර ජීවිතාන්තය දක්වාම වනලැහැබින් බැහැරව විශේෂිත කිසිම පිංකමකට වුවද සහභාගී වී නොමැත.වනවාසී යන්නට නියම අරුතක් දෙමින් තම පැවිදි දිවිය ගත කල උන්වහන්සේගේ සුන්දර සරල වනවාසී දිවිපෙවෙතේ අසන්නට ලැබෙන භයානකම කතාව වන්නේ, උන්වහන්සේ භාවනානුයෝගීව සිටින අතර තුර උන්වහන්සේගේ චීවරය මත පොළොං වර්ගයේ ගැහැණු සතෙකු පැටව් බිහිකළ කතාවයි. එසේම උන්වහන්සේ පිඬුසිගා වඩින විට උන්වහන්සේට හිතවත්ව සිටි අලිපැටවෙකු උන්වහන්සේගේ අඟේ දැවටී, වැටී වම් පාදය අලිපැටවාට පෑගී උන්වහන්සේ තුවාල වී වන මැද ගිලන්ව සිට ඇත. ඒ බව දැනුවත් වූ ගැමියන් උන්වහන්සේ සොයාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකින් සුව වුවද උන්වහන්සේගේ වම් පාදය තරමක් කොට වී ඇත.

ඉන් අනතුරුව ගැමියන්ගේ දැඩි උත්සහය වූයේ උන්වහන්සේව ආරක්ෂාකාරීව වැඩ සිටීමයි. නමුත් උන්වහන්සේ එයට අකමැති වූ අතර සැරයැටියකින් හා විශේෂිත වූ රබර් වර්ගයේ පාවහන් යුගලයකින් ආබාධිත වූ පාදයට වාරු ගෙන නැවත වනාන්තරයට වැඩම කළහ. උන්වහන්සේ වනවාසී දිවිපෙවෙතට සහ වනාන්තරයට දැක්වූයේ මහත් ලෙන්ගතුකමකි. වර්තමානයේ සිදුවන වනාන්තර හානිවීම් දෙස විමසා බලන විට අපට උන්වහන්සේ පෙනෙන්නේ වනාන්තරයට ළෙන්ගතු සහ ගරුත්වයක් දක්වන ඇදුරුවරයෙකු ලෙසයි.

විදේශීය භික්ෂූවක් වුවද, ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හාමුදුරුවන් මෙමෙ ධර්මද්වීපයේ වනවාසීව, භාවනානුයෝගීව හිඳ සසරෙන් එතෙර වීමට තම ජීවිතයම කැපකළ බව නොරහසක්ය. උන්වහන්සේ අඛණ්ඩව දශක 5ක පමණ කාලයක් එකම ප්‍රතිපදාවෙන් , පටන්ගත් වීරියෙන් , ශික්ෂණයෙන් ජීවිතාන්තය දක්වා ගමන් කරමින් ශාසන චිරස්ථිතිය සඳහා කළ සේවය වචන වලට හැරවීම පවා අපහසුය.

ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හාමුදුරුවන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී 2016 වර්ෂයේ බලවත් සේ රෝගාතුර වූ නිසා වනාන්තරයේ සිට කත්නොරුව ඇත්දත්ගල ආරණ්‍ය සේනාස්නයට වැඩම කරවූ අතර උන්වහන්සේට උපස්තාන කර ඇත්තේ එම ආරණ්‍ය සේනාසනාධිපති ඤාණවීර නායක හිමියන්ය. එසේම ඤාණදීප හාමුදුරුවෝ ගිලන් වූ අවස්ථාවල උපස්තාන කළ භික්ෂූන් අතර මහරගම සෝනුත්තර හිමි, අලව්වේ අනෝමදස්ස හිමි විශේෂය. වනවාසීව වැඩමවා වදාළ ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප හිමි පසුකාලීනව අපවත් වී වදාළේද ඉමහත් ශ්‍රද්ධාවෙන් දෙඅත් වැඳගෙන බව සඳහන්ය.

ජීවිතයක සරල බව සහ මනුෂ්‍යයන් ලෙස මධ්‍යම ප්‍රතිපදාවෙන් දිවිපෙවෙත ගෙවිය යුතු බවත් , තමන්ට අවශ්‍ය වන එකම දේ පුණ්‍යකර්මයන් රැස්කරගැනීමේ අර්ථවත් භාවය සමස්ථ සමාජයටම පසක් කරලමින් මුළුමහත් සම්බුද්ධ ශාසනයම ගෞතම බුදුන්ගේ සරණ යෑමේ වැදගත්කම පහදා දෙමින් ඉතාමත් නිවැරදි සහ පින් සහිත ශ්‍රමණ ජීවිතයක් ගත කළ ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප යතිවරයන් වහන්සේගේ නික්ම යාම හුදු සමාජයම කම්පනයට පත්කරන කරුණක් වූ බව නොඅනුමානය. උන්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!